පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය




˝දැනුවත් වී බලවත් වෙමු˝ ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන - 2019

25 10 2019 - 09:00 AM

එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතියට ශ්‍රී ලංකාව 1991 දී අත්සන් කරමින් ශ්‍රී ලාංකේය දරුවන්ට අයිතිවාසිකම් සුරක්ෂිත වූ සමාජ වටපිටාවක් ස්ථාපිත කිරීමට විශ්වීය වශයෙන් එකගතාවය පළකරන ලදි.  ඉන් අනතුරුව ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා ළමුන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම උදෙසා ශක්තිමත් ක්‍රමවේදයක අවශ්‍යතාව හදුනාගැනීමත් සමග 1999  දි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් නමින් සුවිශේෂී වූ නිලධාරීන් කණ්ඩායමක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතට බඳවා ගන්නා ලදි.  

ශ්‍රී ලංකාව පුරා පිහිටි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඔවුන් අනුයුක්ත කිරීමෙන් අනතුරුව ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාතික මට්ටමේ වැඩසටහන් බිම්මට්ම දක්වා ක්‍රියාත්මක වීමට අවැසි ක්‍රමවේදයන් ශක්තිමත් විය. එදා සිට මේ දක්වා රටේ සුවහසක් දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා බිම් මට්ටමින් ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් සිටින  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මෙම වසරේදි සිය අභිමානවත් 20 වසරක සේවය සමරයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට වසර 30 ක් සම්පූර්ණ වීමත් එම සැමරුම තවත් අර්ථවත් කරයි.

මෙම සැමරුම් සනිටුහන් කරමින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්මේන්තුව විසින් මෙම වසර තුළ විවිධ වැඩසටහන් ජාතික මට්ටමේ සිට බිම්මට්ටම දක්වා ක්‍රියාත්මක කළ අතර එහි අවසන් වැඩසටහන වූ ˝දැනුවත් වී බලවත් වෙමු˝ යන ජාතික ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන 2019 වසරේ ඔක්තෝබර් මස 01 දිනට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝබර් මස 25,26,27 යන තෙදින පුරා තුල්හිරිය මාස් ෆැබ්රික් පාර්ක් ආයතනයේදී පවත්වන ලදි .

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් දරුවන්ගේ සහභාගීත්ව අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ එක්ව කටයුතු කිරීමේ අයිතිය වැනි සංවර්ධනාත්මක අයිතීන් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් මෙන්ම ජාතික යන ස්ථරයන් තුළ ළමා සමාජ සහ ළමා සභා ස්ථාපිත කර ඇත. මෙම ළමා සමාජ දරුවන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද දැනුම වර්ධනය කිරීමත් ළමා නියෝජිතයන් ලෙස ළමා අයිතිවාසිකම් පිළිබද දැනුමෙන් බලවත් කණ්ඩායමක් හදුනාගැනීමත් සහ ළමා සමාජ සමග කටයුතු කරන මෙම දරුවන්ගේ සුවිශේෂි හැකියාවන් අගයකිරීමත් යන කරුණු කාරණා පෙරදැරි කොට ගනිමින් මෙම වැඩසටහන  ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ලදි. මේ සදහා දරුවන් 6000 ක් පමණ සමස්ථ තරගාවලියට සහභාගි විය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී.චන්දිමා සිගේරා මහත්මියගේ මග පෙන්වීමෙන් පැවැත්වූ ජාතික වැඩසටහන වට තුනකින් පැවැත්වූ අතර මුල් වටය අවසානයේ 39 දෙ‍නෙකු තෝරා ගෙන දෙවන වටය අවසානයේ 10 දෙනෙකු අතරින් පැවති උණුසුම් තරඟයකින්  පසුව තුන් වන ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ කවීෂ කොඩිතුවක්කු, දෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිසුරි කාවින්ද්‍යා, පළමු වන ස්ථානය මාතර  දිස්ත්‍රික්කයේ  නිතිර දිම්හාන හිමිකර  කර ගන්නා ලදි.

මෙම ජාතික තරගයේ ජයග්‍රාහකයින් ඇගයීම සදහා වන අවසන් උත්සවය මාලදිවයිනේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි අමිනාත් ඊනාස් මහත්මියගේ සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් - මුදල් හා පාලන එම්. එච්.ජී බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝබර් මස 27 වන දින පැවැත්විණි.

මෙම ජාතික මහා තරඟාවලිය සදහා රාජ්‍ය අංශයේ දායකත්වය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයක් වන ලීඩ්ස් (LEADS) ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය හා Save the Children, World Vision, UNICEFයන රාජ්‍ය නොවන සංවිධානයන්ගේ අනුග්‍රාහකත්වය ලැබීම මෙම වැඩසටහන වඩා සාර්ථක කර ගැනීම සදහා  ඉවහල් විය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk