පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



සංවර්ධන වැඩසටහන්

1. ළමා අයිතිවාසිකම් පිළිබඳ මෙහෙයුම් කමිටු

1989 වසරේ දී සම්මත කර ගන්නා ලද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව නිල වශයෙන් අත්සන් තබන ලද්දේ 1991 වසරේ දීය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ප්‍රඥප්තියෙහි සඳහන් අයිතිවාසිකම් ශ්‍රී ලාංකික ප්‍රතිපත්ති රාමුවක් තුළට ඇතුළත් කිරීමේ අරමුණ ඇතිව ඊට අනුකූලව ශ්‍රී ලංකාව තුළ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් සකස් කෙරිණි. එය ළමා රැකවරණය සවිමත් කිරීමට දායක වන ප්‍රතිපත්තිමය ලේඛණයකි. එහි සඳහන් 40 වන වගන්තියට අනුව 2000 වර්ෂයේ සිට මෙරට ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය වශයෙන් ළමාරක්ෂක මෙහෙයුම් කමිටු ව්‍යුහය ක්‍රියාත්මක වේ. මේ වන විට එම කමිටු 2018.01.10 දිනැති අංක 1/2018 චක්‍ර ලේඛය අනුව පවත්වනු ලබයි.

ග්‍රාමීය ළමා සංවර්ධන කමිටු

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් අවදානමට ලක් විය හැකි දරුවන් හඳුනා ගැනීම හා ළමුන් සම්බන්ධ ගැටළු හඳුනා ගෙන ක්‍රියා කිරීම / වාර්තා කිරීම.

ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු

ග්‍රාමීය ළමා සංවර්ධන කමිටු මගින් හඳුනා ගත් ගැටළු අතරින් ග්‍රාමීය ළමා සංවර්ධන කමිටුව තුළ විසඳා ගත නොහැකිව ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුව වෙත යොමු වූ ගැටළු විසඳා ගැනීමට ක්‍රියා කිරීම, විසඳුම් යෝජනා කිරීම හා දැනුම් දීම.

දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු

ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුව වෙත යොමු වී ඒ තුළ විසඳුම් ලබා ගත නොහැකි වූ ගැටළු විසඳා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම, විසඳුම් යෝජනා කිරීම හා දැනුම් දීම.

පළාත් ළමා සංවර්ධන කමිටු

දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව වෙත යොමු වී ඒ තුළ විසඳුම් ලබා ගත නොහැකි වූ ගැටළු විසඳා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම, විසඳුම් යෝජනා කිරීම හා දැනුම් දීම.

ජාතික ළමා සංවර්ධන කමිටුව

• පළාත් ළමා සංවර්ධන කමිටුව වෙත යොමු වී ඒ තුළ විසඳුම් ලබා ගත නොහැකි වූ ගැටළු විසඳා ගැනීම සඳහා බහු පාර්ශවීය ආයතන/අමාත්‍යාංශ හරහා හදුනා ගැනීම හා දැනුම් දීම.

• අදාළ සියළු ආයතන ඒකාබද්ධව ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම.

• ළමුන් සම්බන්ධව ග්‍රාමීය මට්ටමේ සිට ප්‍රාදේශීය, දිස්ත්‍රික් මට්ටමින් මැදිහත්වීම සිදු කිරීම.

• ජාතික මට්ටමින් ළමුන් සම්බන්ධ ගැටළු සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම.

ළමුන් කෙරෙහි ඇතිවන ඍණාත්මක ප්‍රතිවිපාක අවම කරමින් සහ යහපත් සමාජයීය සාරධර්ම මත පදනම් වෙමින් ළමා ආරක්ෂාව සහ රැකවරණය සඳහා මග සලසන සමාජ වාතාවරණයක් නිර්මාණය වීම මෙමගින් අපේක්ෂා කෙරේ.

 

2. ළමා සමාජ හා ළමා සභාව පිහිටුවීමේ ව්‍යාපෘතිය

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සඳහන්ව ඇති 12,13,14 යන ව්‍යවස්ථාවන් මගින් ආවරණය වන ළමයින්ගේ සහභාගීත්ව අයිතිය තහවුරු කිරීමට ළමයින් බලගැන්වීමේ ප්‍රධාන අරමුණින් යුතුව 2007 වර්ෂයේ සිට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ළමා සමාජ පිහිටුවීම සිදු වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පිහිටුවා ඇති ළමා සමාජ ඒකරාශී කරගනිමින් ප්‍රාදේශීය ළමා සභා ද, ප්‍රාදේශීය ළමා සභාවේ නිලධාරී මණ්ඩලයේ එකතුවෙන් දිස්ත්‍රික් ළමා සභා ද මේ වන විට පිහිටුවා ඇත. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය ළමා සභාවක් හා සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ළමා සභාවක් ද මේ වන විට පිහිටුවා ඇත. දිස්ත්‍රික් ළමා සභාවල එකතුවෙන් ජාතික ළමා සභාවක්ද ස්ථාපිත කර ඇත. ළමා සමාජ මගින් දරුවන්ට කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ළමා සමාජ වල පුස්තකාල වලට පොත් ලබා දීම, යහගුණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

මෙම ළමා සමාජ ලියාපදිංචි කිරීම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ. ග්‍රාමීය මට්ටමින් ළමා සමාජයට සම්බන්ධ වන දරුවන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ ළමා සභා ව්‍යුහයන් නියෝජනය කරන අතර, ග්‍රාමීය ළමා සමාජයෙන් ඇරඹෙන ළමා සමාජ ධූරාවලිය ප්‍රාදේශීය ළමා සභා, දිස්ත්‍රික් ළමා සභා සහ ජාතික ළමා සභාව දක්වා ගමන් කරයි. ඒ අනුව ග්‍රාමීය මට්ටමින් පිහිටුවනු ලබන ළමා සමාජ වල නායකත්වය දරණ දරුවන් ප්‍රාදේශීය ළමා සභාව ද, ප්‍රාදේශීය මට්ටමේ නිලතල දරන දරුවන් දිස්ත්‍රික් ළමා සභාව හා එහි තනතුරු දරන දරුවන් ජාතික ළමා සභාව ද නියෝජනය කරයි. ළමා සමාජ, ළමා සභාව තුළ දරුවන්ගේ දැනුම, ආකල්ප කුසලතා සංවර්ධනයට වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, ජාත්‍යන්තර සමුළු නියෝජනය සඳහා ද මෙම වැඩසටහන තුළ දරුවන්ට අවස්ථාව හිමි වී ඇත.

 

3. ආදර්ශ ළමා ගම්මාන වැඩසටහන

ප්‍රජා මූලික ළමා රක්ෂණ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම තෝරා ගන්නා ලද ගම්මානයක ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වැඩසටහන යටතේ ප්‍රතිපාදන වෙන් කර ඇත. මේ යටතේ විවිධ රාජ්‍ය නිළධාරීන්ගේ මැදිහත් වීම යටතේ එම ගම්මානය තුළ සෑම  ළමයකුගේම සංවර්ධනය, පැවැත්ම , ආරක්ෂාව හා සහභාගිත්වය යන අයිතීන් සුරක්ෂිත කිරීමේ ලා වන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති වාර්තා ගෙන්වා ගත් අතර එකී අවශ්‍යතාවය මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 311 ක් සඳහා ළමා හිමිකම් නිලධාරීන් 352 ක් වෙනුවෙන් රු.5000.00 බැගින් ප්‍රතිපාදන වෙන් කරන ලදී.

 

4. දැනුවත් කිරීමේ වැඩසටහන්

දරුවන් යනු වයස අනුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයෙක්ටම අදහස් වේ. දරුවන්ගේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා මෙන්ම ඔවුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්, හිංසනයන් වලින් ආරක්ෂා කිරීම අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමකි. මෙම වගකීම් ඉටු කරමින් දරුවන්ට වඩා හිතකාමී හෙට දවසක් උරුම කරදීම සඳහා දරුවන් සවිබල ගැන්විය යුතුය.

මෙම අරමුණු පදනම් කරගෙන කාලීනව ඇතිවන ගැටළුත් අවම කිරීම හා දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා විවිධ මාතෘකාවන් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදී විවිධ සමාජ ව්‍යුහයන් ඉලක්ක කර ගනී. 

උදා :-

  1. දරුවන්
  2. දෙමාපියන් හා වැඩිහිටියන්
  3. විවිධ වෘත්තිකයව්
  4. ප්‍රජාවන්

මෙමගින් වාර්ෂිකව විවිධ සමාජ අවශ්‍යතා පදනම් කොට ගනිමින් සාධනීය ප්‍රවේශයක් තුලින් ළමුන්ගේ ආරක්ෂාව සහ අයිතීන් සුරක්ෂිත කිරීම උදෙසා සුවිශේෂි මාතෘකා ඔස්සේ දැනුවත් කිරීම් සිදු කරනු ලබයි.

 

5. ආරක්ෂණ සැලසුම් සකස් කිරීම

අවදානම් තත්වයේ පසුවන දරුවන් සඳහා දිගු කාලීනව ආරක්ෂාව සහතික කිරීමේ වැඩ පිළිවෙල ආරක්ෂණ සැලසුම් සකස් කිරීමයි. ළමා ආරක්ෂාව සහතික කිරීමේ ශිල්පීය ක්‍රමවේදයක් ලෙස මෙහි අවශ්‍යතාව මතු වන්නේ 2011  වර්ෂයේ දී දීප ව්‍යාප්තව කරන ලද අවදානම් ළමුන් හදුනා ගැනීම පිළිබඳ වු සමීක්ෂණය තුළින් විශාල ළමුන් සංඛ්‍යාවක් හඳුනා ගැනීමට ලැබීම හේතුවෙනි.

මේ ආකාරයට හඳුනා ගන්නා ලද දරුවන්ගේ අවදානම් තත්වයන් විවිධ විය. ඔවුන්ගේ අවදානම් තත්වයට අනුව එම අවදානම් තත්වයෙන් අහෝසි කර ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂණ සැලසුම් සකස් කිරීම සිදු කරයි. එය කෙටි කාලීනව මෙන්ම වසර කීපයක් පුරා දිගු කාලීනවද ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන් හා ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් පසු විපරම් කිරීම සිදු කරනු ලබයි.

මෙම ආරක්ෂණ සැලසුම් සකස් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම හා ඇගැයීම ඇතුළු සියළු කටයුතු වලදී වෙනත් ක්ෂේත්‍ර නිලධාරීන් ගේ සහය ද ලබා ගනු ලැබේ. ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ දී තනි පුද්ගලයකුට වඩා ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ ක්‍රියා කිරීමේ ඇති වැදගත්කම මේ තුළින් අවධාරණය කර ඇත.

මෙම ආරක්ෂණ සැළසුම් සකස් කිරීම තුළින් දරුවාට ආරක්ෂාව සහ සංවර්ධනය ලැබෙන අතරම පවුල නගා සිටුවීම ද සිදුවෙයි.  විශේෂයෙන් දරුවන්ගේ පෝෂණය හා සංවර්ධනයට අවශ්‍ය පවුලේ ආදායම් මාර්ග වැඩි දියුණු කිරීම සනීපාරක්ෂක පහසුකම් වර්ධනය මෙන්ම අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීම සඳහා ද අවශ්‍ය පහසුකම් සපයා දීමට මේ තුළින් හැකියාව ලැබී ඇත.

 

6. ළමා කේන්ද්‍රීය ආපදා අවදානම් අවමකරණ වැඩසටහන

ආපදා, අනතුරු, උවදුරු වලට ලක් වූ විට ඉන් වඩාත් පීඩාවට පත් වන පිරිස අතර දරුවෝ ප්‍රධාන ස්ථානයක් උසුලයි. මෙවැනි අවස්ථා වලදී ප්‍රධාන වින්දිතයන් බවට පත් වන පිරිස අතර දරුවෝ ප්‍රධාන ස්ථානයක් උසුලයි. මෙවැනි අවස්ථා වලදී ප්‍රධාන වින්දිතයන් බවට පත්වන දරුවන්ට එම අවස්ථාවන් කල්තියා හඳුනා ගැනීමට, පෙර සූදානම් වීමට, එවැනි තත්වයන් ඇති වීම අවම කිරීමට කටයුතු කිරීමේ කුසලතාවයන් මෙන්ම එවැනි තත්වයකට පත්වූ වූ විට ඊට ඔරොත්තු දීමේ ශක්තිය ලබා දීම අනිවාර්යයෙන් සිදුවිය යුතු කාර්යයකි. මෙම දැනුම, කුසලතා, ආකල්ප විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ලබා දීමටත් දරුවන්ගේ මූලිකත්වයෙන් මේ සඳහා ව්‍යාපෘති හඳුනා ගෙන ක්‍රියාත්මක කිරීමත් මේ යටතේ සිදු වේ. එහිදී දරුවන් ආපදා, අනතුරු, උවදුරු වල හුදෙක් වින්දිතයන් බවට පත් වීමට සීමා නොවී සමාජ ක්‍රියාකාරිකයෙකු බවට පත් වේ.

 

7. ළමා මූලික පර්යේෂණ

දරුවන් සමාජයේ ප්‍රධාන කාණ්ඩයකි. ඔවුන්ට සමාජය විනිවිද දැකීමට හුරු කිරීමක් ළමා මූලික පර්යේෂණ තුළින් සිදු වේ. ළමා පර්යේෂකයෙකු ලෙස ළමුන්ට බලපාන ගැටළු අධ්‍යනය කර ව්‍යාපෘති වාර්තාවක් සකස් කර එහි ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම තුළින් දරුවන් විපර්යකාරකයින් (change agent) බවට පත් වේ. එමෙන්ම ගැටළු දෙස හුදකලාව බලා කථා කරනවා වෙනුවට ඒ පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් සිදු කිරීමට දරුවන් පෙළඹවීමක් මෙම වැඩසටහන තුළින් සිදු වේ. දරුවන් මුහුණපාන ගැටළු දරුවන් විසින්ම හඳුනා ගැනීම, විසඳුම් යෝජනා කිරීම හා ක්‍රියාත්මක කිරීම තුළ අර්ථාන්විත ළමා සහභාගීත්වයට අවකාශ සැලසෙන අතර ළමා අයිතිවාසිකම් සම්මුතියට අත්සන් තැබූ රටක් ලෙස එහි 12 වන ව්‍යවස්ථාව යතාර්ථයක් කිරීමට ඉන් අවකාශ සැලසේ.




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk