පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය (United Nation’s Convention on the Right of the Child-UNCRC)

මානව හිමිකම් කොමිෂම විසින් දරුවන්ගේ සුභ සිද්ධිය සහ රැකවරණය වෙනුවෙන් සම්මුතියක් සකස් කිරීමේ අවශ්‍යතාව හදුනා ගන්නා ලදි.  එහි මූලික පියවර ලෙස 1979 වර්ෂය ළමා අයිතිවාසිකම් වර්ෂය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කළේය.  මේ අතර මානව හිමිකම් කොමිසමේ මූලිකත්වය සහ මග පෙන්වීම ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව ළමා හිමිකම් ප්‍රඥප්තිය සකස් කොට 1989 නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයහි 44/5 දරණ සැසි වාරයේ දී අනුමත කර ප්‍රකාශයට පත් කරන ලදි. දරුවන්ගේ සංවර්ධනය, ඔවුනගේ අභිවෘද්ධිය සහ යහ පැවැත්ම පිළිබද සැලකිලිමත් වන රජයන් මෙම ගිවිසුම සමග එකග විය. මේ වන විට ජත්‍යන්තර ගිවිසුම් අතරින් වැඩිම රටවල් ප්‍රමාණයක් අත්සන් කර ඇති ගිවිසුම වන්නේ විශ්ව ළමා ප්‍රඥප්තියයි.

විශ්ව ළමා සම්මුතියෙහි සදහන් වගන්තීන්

වයස අවු 18 අඩු සෑම කෙනෙකුම ළමයෙකු ලෙසත් ඔවුන් හට මෙම ප්‍රඥප්තියේ සදහන් සියළු අයිතිවාසිකම් හිමිවිය යුතු බවත් විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි පළමු වන වගන්තියෙන් අවධාරණය කරනු ලබයි. වගන්ති 54 කින් සමන්විත මෙම ලියවිල්ල මූලික වශයෙන් මූලධර්ම 4 ක් මත පදනම් කොට ගෙන සකස් කොට ඇත:

  • දරුවන් සම්බන්ධයෙන් වෙනස් කොට නොසැලකීම
  • දරුවාගේ උපරිම යහපත
  • පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතිය
  • ළමයාගේ අදහස් වලට ගරු කිරීම

මෙම මූලධර්ම වලින් පිළිඹිඹු වන දරුවන්ගේ අයිතිවාසිකම් සෘජුවම වගන්ති 44 මගින් ජීවත්වීම, ආරක්ෂාව,  සංවර්ධනය සහ සහභාගීත්වය යන ක්ෂේත්‍රයන් ඔස්සේ  සුරක්ෂිත කිරීමට අදාල කාරණා ප්‍රකාශයට පත්කොට ඇත. සෙසු වගන්ති ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සම්බන්ධයෙන් රජයක් ලෙස ක්‍රියාකාරි විය යුතු ආකාරය පිළිබද විස්තර කරනු ලබයි.

මීට අමතරව ළමා අයිතිවාසිකම් වලට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෛකල්පික ලේඛණ 3 ක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඉන් යුධ ගැටුම් වලින් පීඩාවට පත්වූ දරුවන් සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනයත් (Optional Protocol to the UNCRC on Involvement of Children in Armed Conflict) ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම (Optional Protocol to the UNCRC on Sales of Children, Child Prostitution and child Pornography) යන වෛකල්පික ප්‍රකාශනයත් ශ්‍රී ලංකාව විසින් අත්සන් කොට ක්‍රියාත්මක කිරීමට බැදී සිටි.

ශ්‍රී ලංකාව තුළ ළමා අයිතිවාසිකම් සම්මුතිය ක්‍රියාවට නැංවීම

ශ්‍රී ලංකාව විසින් විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතිය 1990 ජනවාරි 26  දින අත්සන් කළ අතර එය 1991 ජූලි 12 වන දින අපරානුමත කරන ලදි. එමෙන්ම විශ්ව ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය පිළිගැනීමත් සමග ශ්‍රී ලංකා රජය විසින් 1992 දී ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තිය එළි දැක්විය. එමෙන්ම  යුධ ගැටුම් වලින් පීඩාවට පත්වූ දරුවන් සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනය 2000 අගෝස්තු මස 21 වන දින අත්සන් කොට 2000 සැප්තැම්බර් 8 වන දින ස්ථිර කරන ලදි. ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම (Optional Protocol to the UNCRC on Sales of Children, Child Prostitution and child Pornography) යන වෛකල්පික ප්‍රකාශනය 2002 මැයි මස 8 වන දින අත්සන් කොට 2002 සැප්තැම්බර් 22 වන දින ස්ථිර කරන ලදි.

මෙම සම්මුතීන් සියල්ල ක්‍රියාත්මක කිරීම විෂයෙහි පුරෝගාමියා වන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයයි. එම අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ජාතික පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙහි මෙතුවක් සේවාව නවමු මගකට යොමු කරමින් ළමා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ ආයතනය බවට පත් විය. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින්  විශ්ව ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම අරමුණ කොට ගනිමින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් නමින් නිලධාරී ධුරයක් ස්ථාපිත කර උපාධිධාරීන් බදවා ගන්නා ලදි. එසේ බදවා ගත් නිලධාරීන්  සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත කර ප්‍රාදේශීය වශයෙන් දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පසුබිමත්  ඔවුනගේ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ද ලබාදෙනු වස් සේවයෙහි පිහිටුවන ලදි.

වැඩිදුර කියවීම්:

  • එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය
  • ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය
  • යුධ ගැටුම් වලින් පීඩාවට පත්වූ දරුවන් සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනය
  • ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම



අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk