පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



දෙපාර්තමේන්තු  ඉතිහාසය

වර්ෂ එක්දහස් නවසිය තිහේ දශකයේ දි ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් පරිවාස ක්‍රමය අත්හදා බැලිමක්  වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය. 1907 දී එංගලන්තයේ සම්මත කරන ලද වරදකරුවන් පිළිබඳ පරිවාස ආඥා පනත ලංකා අධිකරණය කෙරේ ද බලපෑවේය. වර්ෂ 1944 දී සම්මත කරන ලද අංක 42 දරණ පරිවාස ආඥා පනත ඉහත සඳහන් කළ බලපෑම් වල ප්‍රතිඵලයක් විය. මෙම ආඥා පනත තුලින් පරිවාස ක්‍රමය ලංකා අධිකරණයේ ස්ථාපිත විය.

එංගලන්තයේ පරිවාස සේවාව ඇසුරින් ලංකාවේ ද පරිවාස සේවාවන් ආරම්භ කිරිමේ කාර්යභාරය එංගලන්තයේ උපදේශකයෙකු වන එච්.ඒ.ලීඩීන් මහතාට පැවරුණු අතර, ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පරිවාස සේවාව පරිවාස නිලධාරින් කීපදෙනෙකුගෙන් ආරම්භ විය. අත්හදා බැලීමක් ලෙස දිවයිනේ අධිකරණ කොට්ඨාශ කීපයක පමණක් ක්‍රියාත්මක කිරිමෙන් පසු මෙම සේවය අධිකරණය විසින් පිළිගනු ලැබීය. ඉන්පසු එය වැඩිදියුණු කිරිමේ අවශ්‍යතාවය ද ඉස්මතු විය.

1949 දී විනිශ්චයකාර ග්‍රේෂියන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ නිර්දේශ රජය විසින් පිළිගනු ලැබීමත් සමඟ දිවයින පුරා සියළුම අධිකරණ කලාප ආවරණය වන පරිද්දෙන් පරිවාස සේවය ව්‍යාප්ත කෙරිණ. මෙම සේවාවේ පරිපාලන කටයුතු කරන ලද්දේ බන්ධනාගාර හා පරිවාස දෙපාර්තමේන්තුව විසිනි.
ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනත ක්‍රියාත්මක කිරිම හා ළමා උසාවි ආරම්භ කිරිමත් සමඟම ළමයින් සඳහා සැපයෙන සේවාවන් එක්තැන් කිරිමේ වැදගත්කම පිළිබඳව සිරිල් හැම්ලීන් මහතාගේ වාර්තාවෙන් පෙන්වා දෙන ලදී. එම නිර්දේශය අනුව 1956 ඔක්තෝම්බර් 01 දින පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ විය.

මෙසේ 1956 දී ආරම්භ වූ දෙපාර්තමේන්තුව මුලින්ම සමාජ සේවා අමාත්‍යාංශය යටතට පත්විය. පසුව පත් වූ රජයන් විසින් වරින් වර විවිධ අමාත්‍යාංශ යටතට පත් කරන ලදී. 1990 වසර ආරම්භයේ දී එය ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 1994 අගෝස්තු මාසයෙන් පසුව සෞඛ්‍ය මහා මාර්ග හා සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ද, 2001 වර්ෂයේ දි සමාජ සේවා හා ධීවර ප්‍රජාවගේ නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ ද, 2002 දී සෞඛ්‍ය පෝෂණ හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2003 දී සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2004 වර්ෂයේ දී කාන්තා අභිවෘද්ධි හා සමාජ සුභසාධන අමාත්‍යාංශය යටතේ ද, 2005 වර්ෂයේ සිට ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය යටතේ ද කටයුතු සිදු කෙරිණි. 2010 වර්ෂයේ සිට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ද, 2015 සිට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ද, 2019 සිට කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුකු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ද, 2021 සිට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ද කටයුතු සිදු කෙරිණි. 2022 සිට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ද දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කෙරේ.

 

පළාත් සභා පිහිටුවීම සහ දෙපාර්තමේන්තුවේ බලතල විමධ්‍යගත වීම

පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ වීමෙන් පසු, රැඳවුම් නිවාස, සහතික කළ පාසැල්, පරිවාස කාර්යාල ඇතුළු අනෙකුත් ආයතන වල කටයුතු පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාප්ත වූ අතර මුළු දිවයිනම ආවරණය වන පරිදි සහකාර කොමසාරිස්වරුන් ද පරිවාස හා ළමාරක්‍ෂක සේවා කොමසාරිස්ට සහායවීම සඳහා පත් කෙරිණි.

1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ එම ව්‍යූහය වෙනස් වු අතර  පරිවාස හා ළමාරක්‍ෂක සේවය පළාත් සභාවලට විමධ්‍යගත කරන ලදි. ඒ සමඟම මෙතෙක් කොමසාරිස්ට සහාය වීම සඳහා පත්කර සිටි සහකාර කොමසාරිස් තනතුරුද අහෝසි විය.

පළාත් සභා යටතේ පළාත් පරිවාස හා  ළමාරක්‍ෂක සේවා කොමසාරිස්වරුන් සියළු පළාත් වෙනුවෙන් පත් වූ අතර පරිවාස කාර්යාල ඔවුන්ගේ අධීක්‍ෂණයට යටත් විය.

ඉන්පසු ජාතික දෙපාර්තමේන්තුව තුල විදේශීය කුලවද්දා ගැනීම් විෂයත් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරමින් එම දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලදි.

 

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම

1991 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට අත්සන් තැබූ අතර 1992 වර්ෂයේ දී ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන ලදී. එම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙහි වූ ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය වෙනුවෙන් 1999 වර්ෂයේ දී දෙපාර්තමේන්තුව විසින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් ලෙස සිය ක්‍ෂේත්‍ර රාජකාරී ඉටුකර ගැනීම අරමුණු කර ගනිමින් නව තනතුරක් නිර්මාණය කර ඊට නිලධාරීන් බඳවා ගන්නා ලදී. මේ වන විට මෙම නිලධාරීන් දිවයින පුරාම පිහිටි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව කටයුතු කරනු ලබයි. මෙමගින් පරිවාස විෂයය මෙන්ම ළමාරක්‍ෂක විෂයයටද මූලිකත්වය ලබාදී වැඩසටහන් දියත් කෙරේ.

 




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk