පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



ආධාර වැඩසටහන්

1. සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමය

මෙම වැඩසටහන දිවංගත අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ සංකල්පයක් මත හදුන්වා දී ඇත. ආර්ථික අපහසුතා ඇති පවුල් වල ජීවත් වන දරුවන්ගේ ජීවත් වීමේ,සංවර්ධනයෙහි සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය අරමුණයි.   පෞද්ගලික ආයතන හෝ අනුග්‍රාහකත්වය දැරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් කැපකරු මාපියන් ලෙස ලියාපදිංචි කරගනිමින් ඔවුන් විසින් ආධාර දීමට අපේක්ෂා කරනු ලබන දරුවන් සදහා ආධාර ලබා දීම මෙමගින් සිදු කෙරේ. මෙම වැඩසටහන සදහා ආධාර ලබා දීමට කැමැත්තක් ඇති අනුග්‍රාහක භවතුන් හට මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය හැක.

 

2. පාසැල් නොයන ළමුන් පාසැල්ගත කිරීම

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සදහන් වගන්ති 28 සහ 29 ළමුන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබද සෘජුව සාකච්ඡා කරනු ලබයි. වයස අවු 16 අඩු සෑම දරුවෙකුටම පාසැල් අධ්‍යාපනයෙහි නිරතවීමට අයිතියක් ඇති අතරම ඒ සදහා රජයක් විසින් ප්‍රතිපාදන සැලස්විය යුතුය. එහෙත් විවිධ ආර්ථික හෝ සාමාජීය සාධක පදනම් කොට ගෙන ඇතැම් දරුවන් හට අඛණ්ඩව පාසැල් අධ්‍යාපනයේ නියැලීමට අවස්ථාව නොලැබේ. එම නිසා මෙවැනි දරුවන් නැවත පාසැල්ගත කිරීම සදහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පැසැල් නොයන ළමුන් සදහා පාසැල් උපකරණ ලබා දෙමින් ඔවුන් නැවත පැසැල්ගත කිරීමට කටයුතු කරනු ලබයි.

මෙහිදි ප්‍රවේශ 2 ක් යටතේ දරුවන්ට උපකාර කරනු ලැබේ. ඔවුන් නම්,

         • පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසු වුවත් ආර්ථික දුෂ්කරතා නිසා අතරමග අධ්‍යාපනය නවතා දමා ඇති හෝ නතර විය හැකි දරුවන්

         • විවිධ හේතුන් මත කඩින් කඩ පාසල් යන දරුවන් ය.

මෙම වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක කරන ලදි.

          • පාසල් උපකරණ ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම.

          • අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ගැන දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් සඳහා දැනුවත් කිරීම

          • විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් නිලධාරීන් අතර දරුවාට යහපත් වන පරිදි මනා සම්බන්ධීකරණයක් ගොඩ නැගීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සිටින ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

 

3. කැපකරු දෙගුරු වැඩසටහන

තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා උදෙසා සහයෝගය දෙනු ලබන වැඩසටහනක් ලෙස  කැපකරු දෙගුරු වැඩසටහන හඳුන්වා දිය හැකිය. මෙය මාසිකව ලබා දෙනු ලබන අධ්‍යාපනික ශිෂ්‍යත්ව ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වේ. සුවිශේෂී  අධ්‍යාපනික දක්‍ෂතා ඇති ආර්ථික වශයෙන් අගහිඟකම් මැද ජීවත්වන පාසල් දරුවන් මෙම වැඩසටහනේ ඉලක්ක කණ්ඩායම වේ. මොවුන්ගේ තෝරා ගැනීම හා යොමු කිරීම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හරහා සිදු කරනු ලබන අතර, මාසයකට රු. 1000/= ක මුදලක් එක් දරුවෙකු වෙනුවෙන් ලබා දීමට කටයුතු කෙරේ.

 

4. නිවුන් දරු ආධාර

අඩු ආදායම්ලාභි පවුල්වල නිවුන් දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා අනෙකුත් සුභසාධන කටයුතු වෙනුවෙන් මෙන්ම එම දරුවන්‍ අවදානම් තත්වයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම පිණිස ලබා දෙන ආධාර ක්‍රමයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දිම මෙහිදී සිදුවේ.

මේ යටතේ දරුවන් දෙදෙනෙකු සඳහා රු.7500/- ක්ද තුන් දෙනෙකු වෙනුවෙන් රු.15,000/- ක් ද සිව්  දෙනෙකු සඳහා රු.20,000/- ක් ද පස් දෙනෙකු වෙනුවෙන් රු.25,000/- ක් ද වශයෙන් මුදල් ගෙවීම් සිදු කරයි.

සෑම ඉල්ලුම් කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැ‍බේ.

 

5. වෛද්‍ය ආධාර

අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ ගැටළු සඳහා සහන සැපයීම වෙනුවෙන් මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. එසේම ආබාධිත දරුවන් වෙනුවෙන් ද උපකාර කිරීම මෙහිදී සිදු වේ.  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහිදී සිදු වේ.

මේ යටතේ වෛද්‍ය ප්‍රතිකාර, සැත්කම්, පෝෂණ කටයුතු, ශාරීරික දුර්වලතා වෙනුවෙන් භාවිතා කරන උපකරණ සඳහා ආධාර සැපයීම සිදු කරනු ලබයි. ප්‍රතිකාර හා පෝෂණ කටයුතු වෙනුවෙන් රු.5000/- මුදලක් ද, සැත්කම් සඳහා රු.10,000/- ක මුදලක් ද, උපකරණ සඳහා ඒවායේ මිල ගණන් අනුව විවිධ ප්‍රමාණයේ මුදල් ගෙවීම ද සිදු වේ. මෙම ගෙවීම් ප්‍රමාණයන් එම දරුවන්ගේ පවුල් වල විවිධ ස්වභාවයන් හා ඔවුන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් මත වෙනස් වීමට ද පුළුවන.

සෑම ඉල්ලුම්කරුවෙකුටම එක් අවස්ථාවක් පමණක් මෙම ආධාර ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව වසරකට පවුල් 500 කට පමණ මෙමඟින් සහන සලසා දීමට අවස්ථාව ලැබී ඇත.

 

6. හදිසි විපත් ආධාර

හදිසියේ ඇති වන විපත් නිසා පවුල් වල අසරණ වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ලබා දෙන ආධාර ක්‍රමයකි. ක්‍ෂණිකව පරිසරයේ ඇතිවන ගංවතුර, සුලි සුළං, නාය යෑම්, නිවාස ගිනි ගැනීම්, වැනි තත්වයන් මත දුෂ්කරතාවයන්ට පත් වන දරුවන්ගේ සුභ සාධනය සැලසිම මෙහිදී සිදු වේ. එපමණක් ද නොව පවුල් තුළ දෙමව්පියන් මිය යෑම, දරුවන් අත්හැර දමා යෑම, දෙමව්පියන් හදිසි අනතුරු වලට රෝගාබාධ වලට ගොදුරු වීම, විදේශ ගතව නැවත නොපැමිණීම, දරුවන් තාවකාලික භාරකරුවන් අතට පත් වීම, එම භාරකරුවන් ශාරීරික හා මානසික දුර්වල අය වීම වැනි හේතූන් මත අසරණ වන දරුවන්ට පිහිට වීමට ද මෙම ආධාර ක්‍රමය උපකාරී වේ.

යම් ව්‍යසනකාරි තත්වයක දී දරුවන්ගේ පාසල් උපකරණ විනාශ වි ඇත්නම් ඒ වෙනුවෙන් එක් පවුලක් සඳහා   රු. 5000/- ක ආධාරයක් ලබා දේ. එසේ වුව ද ඒ ඒ අවස්ථාවන්හි ඇති වන හානිදායක තත්වයේ ප්‍රබලතාවය මත ලබා දෙන ආධාර මුදල වෙනස් විමට පුළුවන. කුමන හෝ ව්‍යසනකාරි තත්වයක දී වුවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දායක විම මෙහි ප්‍රධාන අරමුණ වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලැබෙන ඉල්ලුම්පත්‍ර සඳහා අවශ්‍ය මුදල් සපයා දීම මෙහි දී සිදු වේ.

.

පසුවිපරම් ක්‍රියාවලිය : -  මෙම සියළු වැඩසටහන්හි  ප්‍රතිලාභි දරුවන්ගේ පසුවිපරම් ක්‍රියාවලිය අඛණ්ඩව සහ සමීපව සිදු කරනු ලබන අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි අනුයුක්තව කටයුතු කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

සටහන : -  මෙ සදහා අදාල අයදුම් පත් භාගත කිරීම් හි අන්තර්ගත වේ.

 




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk